ශාක පත්‍ර, එළවළු පලතුරු, දිලීර සහ ඇල්ගී, දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය රස බලමින් ජීවත් වන ගොළුබෙල්ලන් ලොව නන්දෙස දැකිය හැකිය. ඇතැම් අවස්ථාවල කෘෂිකර්මාන්තයේදී සහ ගෙවතුවගාවේදී, ගොළුබෙල්ලන් පළිබෝධකයන් ලෙස ද සැලකෙයි.

ගොළුබෙලි මනමාලයා
ආක්‍රමණශීලී ගොළුබෙලි විශේෂ, එළවළු, පලතුරු සහ අනෙකුත් භෝග ආදියට හානි කරයි. එසේ වුවත්, සියලුම ගොළුබෙල්ලන් පළිබෝධකයන් නොවෙයි. ස්වාභාවික පරිසර පද්ධතියේ උන්ගේ දායකත්වය ඉතාමත් වැදගත්ය. කාබනික ද්‍රව්‍ය දිරාපත් කිරීම සිදුවන්නේ ගොළුබෙල්ලන්ගේ උදවුවෙනි. ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය, පෘතුගාලය, මොරොක්කෝව යන රටවලත්, වියට්නාමය, චීනය, පිලිපීනය, ජපානය සහ කොරියාව වැනි ආසියානු රටවලත් ගොළුබෙල්ලන් යනු රස කෑමකි.
ගොළුබෙල්ලාගේ භාරකාරිය - ගිසෙල් ක්ලාක්සන්
කාන්තාවන්ගේ සම නිරෝගී කිරීමට, සම සුමුදු කිරීමට ගොළුබෙල්ලන් සහ උන්ගේ ශ්‍රාවය යොදා ගනිමින් කරන රූපලාවණ්‍ය ප්‍රතිකාර සිදු කෙරේ. මෙම රූපලාවණ්‍ය ප්‍රතිකාර ජපානය සහ බටහිර රටවල ප්‍රකටය.
ගොළුබෙල්ලන්ගේ ස්‍රාවයේ ඛනිජ ලවණ, ග්ලයිකොලික් අම්ලය, විටමින් ඒ, සී, සහ ඊ, සහ කොලජන් වැනි සංඝටකවලින් බහුල බව විශ්වාස කෙරේ.
පළිබෝධකයකු වුණත් නැතත්, ආහාරයක් වුණත් නැතත්, රූපලාවණ්‍ය ප්‍රතිකර්මයක් වුණත් නැතත්, ගොළුබෙල්ලා යනු ගොළුබෙල්ලාය. ප්‍රමාණයෙන් සහ පැහැයෙන් වෙනස් වුණත් සියලුම ගෙළුබෙල්ලන් බැලූ බැල්මට එක වගේය. කවචයක් ඇත. හිසේ දිග ඇන්ටනා ඇත.
සාමාන්‍යයෙන්, ගොලුබෙල්ලන්ගේ වර්ණය දුඹුරුය. කහ, තැඹිලි ආදී වර්ණවල ගොළුබෙල්ලෝ ද සිටිති. ගොළුබෙල්ලකුගේ අනන්‍යතාව වන්නේ උගේ දිලිසෙන කටුවය. එය උගේ ආරක්ෂක නිවහන ද වෙයි.
අපේ මේ කතාවට අදාළ කතා නායකයා වන නෙඩ්, තවත් සාමාන්‍ය ගොළුබෙල්ලකු නොවෙයි.
නෙඩ් යනු සිරුරේ විකෘතිතාවක් සහිතව උපත ලැබූ ගොළුබෙල්ලෙකි. සරලව කීවොත්, ඉතා දුර්ලභ උපත් ආබාධයක් සහිත ගොළුබෙල්ලෙකි. මේ උපන් ආබාධය නිසා නෙඩ්ට සහකාරියක සොයා ගැනීම ගැටලුවක් වී ඇත. නෙඩ් සදාකල් තනිකඩයකු ලෙස ජීවත් වීමට ඉඩ තිබුණු නමුත්, විද්‍යාඥයන් මැදිහත් වී, නෙඩ්ට හරියටම ගැළපෙන සහකාරියක සොයා දීමේ ‘ජාත්‍යන්තර මෙහෙයුමක්’ ආරම්භ කර ඇත.
නෙඩ් ජීවත් වන්නේ නවසීලන්තයේය. මේ වන විට නෙඩ්ගේ භාරකාරිය ලෙස කටයුතු කරන්නේ වයිරාරප්පා ප්‍රදේශ වෙසෙන පරිසරවේදිනියක මෙන්ම කාටුන් හා චිත්‍ර ශිල්පිනියකද, ලේඛිකාවක ද වන ජිසෙල් ක්ලාක්සන්ය. ජිසෙල් නවසීලන්තයේ නිව්සීලන්ඩ් ජියොග්‍රැපික් සඟරාවට පරිසර ලිපි ලියන්නියකි.
පසුගිය දා ජිසෙල්, වයිරාරප්පාහි පිහිටි සිය නිවසේ ගෙවත්තේ වල් උගුල්ලමින් සිටිද්දී ඇයට ගොළුබෙල්ලකු දකින්න ලැබුණි. ගොළුබෙල්ලා කටුවෙන් අල්ලාගෙන ඌ ඈතට රැගෙන යෑමට ජිසෙල් උත්සාහ ගනිද්දී, ඇය ගොළුබෙල්ලාගේ වෙනසක් දුටුවාය.
ගිසෙල් මුලින් සිතුවේ, ඇයට හමුවුණු ගොළුබෙල්ලා අලුත් විශේෂයකට අයත් එකකු බවය.
“මම ගොළුබෙල්ලන් ගැන දන්නවා. ඉගෙන ගෙන තියෙනවා. බැලූ බැල්මට මට මේ ගොළුබෙල්ලාගේ අමුත්තක් දකින්න ලැබුණා.” ඇය මෙසේ කිවේ, නිව්සීලන්ඩ් ජියොග්‍රැපික් සඟරාවට ඒ ගැන ලිපියක් ද ලියමිනි.
ගොළුබෙල්ලකුගේ කටුවේ සර්පිලාකාර හෝ කේන්ද්රීය වෘත්තාකාර රටාවක් දකින්න ලැබේ. ගොළුබෙල්ලන් අති බහුතරයකගේ මෙම සර්පිලාකාර රටාව පිහිටා ඇත්තේ දකුණු පැත්තට දඟරයක් ලෙසය. එසේ වුවත්, ගොළුබෙල්ලන් 40,000 ක් ගත්තොත් ඒ අතරින් එක් ගොළුබෙල්ලකුගේ මේ රටාව වම් පැත්තට දඟර ගැසී පිහිටයි. ජිසෙල්ට හමුවුණු, පසුව නෙඩ් යනුවෙන් නම් තැබූ ගොළුබෙල්ලාගේ කටුවේ රටාව ඇත්තේ වම් පැත්තේය.
ගොළුබෙල්ලන් අසමමිතික ජීවීන්ය. අසමමිතික ජීවීන් යැයි කියන්නේ, උන්ගේ ශරීරයේ එක් පැත්තක් අනෙක් පැත්තට සමාන නොවන නිසාය. වර්ගයා බෝ කිරීමට එක් වෙන්නේ, දකුණු පැත්තට දඟර ගැසුණු කටුවක් ඇති ගොළුබෙල්ලන් දෙදෙනෙකි. ගොළුබෙල්ලන් දෙදෙනාගේ පෑහීම සිදුවන්නේ ඒ අනුවය.
වම් පැත්තට දඟර ගැසුණු කටුවක් ඇති ගොළුබෙල්ලකු සහ දකුණු පැත්තට දඟර ගැසුණු කටුවක් ඇති ගොළුබෙල්ලකු වර්ගයා බෝ කිරීම සඳහා එක් වන්නේ නැත.
බහුලව සිටින්නේ දකුණු පැත්තට දඟර ගැසුණු කටු සහිත ගොළුබෙල්ලන් වීම නිසා, කලාතුරකින් හමුවන වම් පැත්තට දඟර ගැසුණු කටුවක් ඇති ගොළුබෙල්ලකුට සහකාරියක සොයා ගැනීම ගැටලුවකි. නෙඩ් මුහුණ දී ඇති ගැටලුව එයයි.
ජිසෙල්, ඇයට හමුවුණු ගොළුබෙල්ලා ‘නෙඩ්’ යනුවෙන් නම් කර ඇත්තේ, සුප්‍රකට ඇමෙරිකන් ටෙලි කාටූන් කතා මාලාවක් වන ‘සිම්ප්සන්’ කතා මාලාවේ නෙඩ් ෆ්ලෙන්ඩර්ස්ගේ චරිතය සිහි ගන්වමිනි.
‘සිම්ප්සන්’ කතා මාලාවේ දකින්න ලැබෙන නෙඩ් ෆ්ලෙන්ඩර්ස් වමත්කරුවෙකි.
ගෙවත්තේ වල් උගුල්වමින් සිටිද්දී හමුවුණු නෙඩ්ගේ සුවිශේෂීත්වය දුටු ජිසෙල්, නෙඩ්ගේ ඡායාරූප කීපයක්, නිව්සීලන්ඩ් ජියොග්‍රැපික් සඟරාවට යැවීය. ඒ නෙඩ් ගැන ලිපිය ලිවීමට පෙරය. නිව්සීලන්ඩ් ජියොග්‍රැපික් කර්තෘ මණ්ඩලයේ සිය සගයන් නෙඩ් ගැන උනන්දුවක් දැක්වූ අතර, සඟරාව මාර්ගයෙන් නෙඩ්ට සුදුසු ගැළපෙන සහකාරියක සොයා දීමේ ‘ජාත්‍යන්තර මංගල සේවය’ ආරම්භ කෙරුණි.
නෙඩ්ට ගැළපෙන සහකාරියක සිටින්නේ නම් ඒ බව දන්වන්නැයි නිව්සීලන්ඩ් ජියොග්‍රැපික් කර්තෘවරයා පාඨකයන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ. ලෝකයේ කොතැනක හෝ නෙඩ්ට සහකාරියක සිටිනවා නම්, ඒ සහකාරිය වෙත යෑමට නෙඩ්ට අවශ්‍ය ගුවන් ගමන් සැපයීමට ද නිව්සීලන්ඩ් ජියොග්‍රැපික් සඟරාව සූදානම් බව පවසා ඇත.
ගොළුබෙල්ලන්ගේ වම් පසට දඟර ගැසුණු කටුවක් තිබීම, මනුෂ්‍යයන්ගේ ‘ඩෙක්ස්ට්රොකාර්ඩියා’ නමැති තත්වයට සමාන යැයි විද්‍යාඥයන්ගේ අදහසය. ‘ඩෙක්ස්ට්රොකාර්ඩියා’ යනු හෘදය වස්තුව පපුවේ වැරදි පැත්තේ පිහිටීමය. 10,000 කට එක් කෙනකුගේ හදවත මේ අයුරින් වම් පැත්තට නොව, දකුණු පැත්තට බරව පිහිටයි.
ගොළුබෙල්ලන් සැලකෙන්නේ ‘හර්මෆ්රොඩයිට්ස්’ සත්වයන් ලෙසය. ගොලුබෙල්ලකුගේ සිරුරේ පිරිමි සහ ගැහැනු ශරීර කොටස් (ගෙල මත පිහිටා ඇත) දෙකම පිහිටයි. සහකරුවකු හෝ සහකාරියක නොමැතිව වුවත් වර්ගයා බෝ කිරීමට ගොළුබෙල්ලාට හැකියාව ඇත. එසේ වුවත්, ගොළුබෙල්ලන් සහකාරියක හෝ සහකරුවකු සොයා ගැනීම සිදු කරයි. ඒ උන් සැබෑ ආදරවන්තයන් බව පෙන්වමිනි.
මේ වනවිට නෙඩ් ලෝකයේ අවධානය දිනාගෙන අවසන්ය. එහෙත්, මේ අයුරින් ලෝකයේ අවධානය දිනූ තවත් ගොළුබෙල්ලකු ගැන කතාවක් ද ඇත. ලන්ඩන් සත්වෝද්‍යානයක සාමාජිකයකු වූ මේ ගොළුබෙල්ලා ‘ජෙරමි’ ය.
2017 වසර දී ‘ජෙරමි’ කරළියට පැමිණියේය. ‘ජෙරමි’ යනුවෙන් ඌ නම් කෙරුණේ, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ජෙරමි කෝබින් නිසාය.
ජෙරමි ද දුර්ලභ වම් පසට දඟර ගැසුණු කටුවක් තිබූ ගොළුබෙල්ලෙකි. සත්වෝද්‍යානයේ බලධාරීහු කෙසේ හෝ ජෙරමිට වම් පසට දඟර ගැසුණු කටුවක් තිබූ තවත් ගොළුබෙල්ලන් දෙදෙනකු සොයා දුන්හ. අවාසනාවකට, එම ගොළුබෙල්ලන් දෙදෙනා එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වූ අතර ජෙරමි තනිවිය. ජෙරමි හුදෙකලාව මියගියේය.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි
0 Comments